Internship Program

A unique opportunity for law students to engage with employment law

ISEALS for international students

Supporting students' work rights

Fact Sheets

Fact Sheets about a number of employment law issues

Newsletter signup

For regular employment law updates from JobWatch

Open Menu Close Menu

සේවා ස්ථානයේ ඔබේ හිමිකම්

බාගත

වියාචනය: මෙම තොරතුරු සාමාන්‍ය තොරතුරු පමණක් වන අතර වෘත්තීමය නෛතික උපදෙස් වෙනුවට ආදේශකයක් නොවේ. මෙම තොරතුරුවලට අනුව කටයුතු කිරීමට පෙර ඔබගේ පෞද්ගලික තත්ත්වය ගැන නීතීඥයෙකුගෙන් නෛතික උපදෙස් ලබා ගත යුතුය.

සේවා ස්ථානයේ ඔබේ හිමිකම්

ඔස්ට්‍රේලියාවේ සේවා නියුක්තිකයෙකු සේ ඔබට නීත්‍යානුකූල හිමිකම් පවතියි. ඔබ කොතැනක උපන්නත්, කවර භාෂාවක් කතා කළත්, සේවකයෙකු වශ‌යෙන් ඔස්ට්‍රේලියානු සේවා නියුක්තික නීති මගින් ඔබව ආරක්ෂා වේ.

මෙම පොත් පිංච මගින් ඔබේ වෘත්තීමය හිමිකම් ගැන වැඩිදුර විස්තර ලබා දෙයි. සේවා ස්ථානයේ ඔබේ හිමිකම් ගැන වැඩිදුර නීතිමය තොරතුරු දැන ගැනීමට හා උපකාර ලබා ගැනීමට ඔබට JobWatch දුරකථන තොරතුරු සේවාව ඇමතිය හැකිය.

  • 1800 331 617 (ප්‍රාදේශීය VIC, QLD, TAS)
  • (03) 9662 1933 (නාගරික මෙල්බන්)

දුරකථනයෙන් ඇමතීමේ දී ඔබට භාෂාව සම්බන්ධයෙන් සහාය අවශ්‍ය නම්,  පරිවර්තන හා භාෂණ පරිවර්තන සේවාව (TIS National) ඔස්සේ භාෂණ පරිවර්තකයෙකු සංවිධානය කර දීමට අපට හැකිය.

ඔබ රැකියාවේ නියුතුව සිටින්නේ කෙසේද

සේවා නියුක්තිකයන්

ඔබ සේවා නියුක්තියෙකු නම් ඔබ වෙනත් කෙනෙකුගේ ව්‍යාපාරයක සේවය කරයි.  ඔබ වැඩ කරන්නේ කෙසේද, ‌කොතැන සිටද, කුමන වේලාවල ද යන්න ඔවුන් පාලනය කරන අතර ඔබ කරන වැඩවලට ඔබට වැටුපක් ලැබේ.

සේවා නියුක්තිකයන් වර්ග ‌දෙකකි – ස්ථිර සේවා නියුක්තිකයන් සහ අනියම්සේවා  නියුක්තිකයන්.

ස්ථිර සේවකයන්ට වැටුප් සහිත නිවාඩු, වැඩ ස්ථාවරත්වය හා රැකියාව අහිමි වීම සම්බන්ධයෙන් ආරක්ෂාව ආදී ප්‍රතිලාභ පවතියි. අනියම් සේවකයන්ට ඉහළ වැටුප් මට්ටම් හා සේවා මුර ප්‍රතික්ෂේප කිරීමට නම්‍යශීලීතාව පවතියි.

ඔබ අනියම් සේවකයෙකු නම් හා ඔබට ස්ථිර වීමට අවශ්‍ය නම්, සමහර අනියම් සේවකයන්ට මාස 12කට පසු ස්ථිර වීම සඳහා විකල්පයක් පවතියි. මෙය අනියම් හැරවීම ලෙස හැඳින්වේ.

ස්වාධීන කොන්ත්‍රාත්කරු

ඔවුන් සපයන සේවා සඳහා ස්වාධීන කොන්ත්‍රාත්කරුවන් කුළියට ගනු ලැබේ. සාමාන්‍යයෙන් ඔවුන්ට ඔස්ට්‍රේලියානු ව්‍යාපාර අංකයක් (ABN) තිබෙන අතර වැටුපක් නොව ඉන්වොයිි වලින් ගෙවීම සිදු කරනු ලැබේ.

ස්වාධීන කොන්ත්‍රාත්කරුවෙකු සඳහා උදාහරණ සේ කිසියම් කාර්යයක් සම්පූර්ණ කිරීමට කුළියට ගත් ජල නල කාර්මිකයෙු දැක්විය හැකිය. මෙම කාර්යය අවසන් වූ පසු ස්වාධීන කොන්‍ත්‍රාත්කරුට වෙනත් කාර්යයක් භාර ගැනීමට අවස්ථාව ඇති අතර, සේවා නියුක්තිකයා සමග රැඳී සිටිය යුතු නොවේ.

ව්‍යාජ කොන්ත්‍රාත් සිදු කිරීම

සේවකයන්ට ඔවුන්ට හිමි සම්පූර්ණ සේවක අයිතිවාසිකම් ලැබීම වැළැක්වීම්ට, සමහර සේවා යෝජකයෝ සිය වෘත්තිකයන් සේවකයන් ලෙස නොව ස්වාධින කොන්ත්‍රාත්කරුවන් සේ හඳුන්වති. මෙය ව්යාජකොන්ත්රාත් ලෙස හඳුන්වනු ලැබේ.

තමා සේවකයෙකු බවත් ස්වාධීන කොන්ත්‍රාත්කරුවෙකු නොවන බවත් ඔබ විශ්වාස කරන්නේ නම්, ඔබට හිමි ප්‍රතිලාභ සඳහා ඉල්ලුම් කළ හැකිය. නොගෙවන ලද හිමිකම් සඳහා අයදුමක් ඉදිරිපත් කිරීමට ඔබට වසර 6ක් තිබේ  .

සේවක ගිවිසුම්

සේවක ගිවිසුම් ලිඛිතව පැවතිය යුතු බව ‌බොහෝ දෙනෙක් සිතති. මෙය සත්‍ය නොවේ. සේවක ගිවිසුම් වාචිකව පැවතිය හැකිය.

ඔබට ලිඛිත සේවක ගිවිසුමක් ලැබුණේ නම්, ඔබට එහි ඇති සියලු දේ ඔබට වැටහෙන්නේ නම් හැර එය අත්සන් කිරීම නොකරන්න. කිසිවක් අත්සන් කිරීමට පෙර නීති උපදෙස් ලබා ගන්න.

සමහර විට ඔබේ රැකියාව වෙනස් විය හැකිය – ඔබට උසස් වීමක් ලැබීම, වෙනත් ප්‍රදේශයකට යාම හෝ ඔබේ පැය ගණන වෙනස් විය හැකිය. ඔබේ සේවක ‌ගිවිසුමේ ඇති යෝජිත වෙනස්කම් සම්බන්ධයෙන් ඔබ සමග සාකච්ඡා කිරීම කළ යුතුය. ඔබේ එකඟතාව රහිතව ඔබේ ‌ගිවිසුම නීත්‍යානුකූලව වෙනස් කිරීම සිදු කළ නොහැක. වෙනස් කිරීම් ප්‍රතික්ෂේප කිරීමට ඔබට හැකියාව ඇත.

වැටුප් ලැබීම

වැටුප් රහිතව කරන අත්හදා බැලීම්

ඔබ කරන සියලු කටයුතුවලට ඔබට ගෙවීම් සිදු කළ යුතු වේ – මෙයට ඔබ අදාළ තනතුර‌ට සුදුසු ද යන්න බැලීම සඳහා කරන අත්හදා බැලීමේ වැඩ කටයුතුද ඇතුළත්ය.

අත්හදා බැලීමේ වැඩ කටයුතු, පැයක්, සතියක් හෝ මාසයක්  – වශයෙන් කෙතරම් දීර්ඝ වුවත් මේ වැඩ කටයුතු සඳහා ඔබට ගෙවීම් සිදු කළ යුතුය.  සේවා යෝජකයා විසින් මෙම වැඩ කටයුුතුවලට ගෙවීම්ව සිදු නොකිරීම නීති විරෝධී වේ. නොගෙවන ලද හිමිකම් සඳහා අයදුමක් ඉදිරිපත් කිරීමට  ඔබට වසර 6ක් තිබේ

අත්පිට මුදල් ලැබෙන රැකියා (කෑෂ් ඉන් හෑන්ඩ්)

ඔබේ වැඩ සම්බන්ධයෙන් විධිමත් වාර්තාවක් නොමැති විට එය අත්පිට මුදල් ලැබෙන රැකියාවක් වේ. ඔබට මුදලින් ගෙවීම හෝ බැංකුව හරහා ගෙවීම් සිදු කිරීම කළත්, ඔබ ඔවුන්ගේ ‘වාර්තාවල‘ ඇතුළත් වී නොසිටියි. සමහර සේවා යෝජකයෝ බදු ගෙවීම හෝ විශ්‍රාම වැටුප් වළක්වා ගැනීමට මෙය සිදු කරති. මෙය නීති විරෝධී වේ.

බොහෝ කෑෂ් ඉන් හෑන්ඩ් රැකියාවල ගැටලුව වන්නේ ඔබේ  රැකියාව සම්බන්ධයෙන් නිල වශයෙන් වාර්තා නොමැති නිසා ඔබේ රැකියා හිමිකම්වලට සේවා යෝජකයා විසින් ගරු නොකිරීමයි.

ඔබ අත්පිට මුදල් ලැබෙන රැකියාවක් කරන්නේ නම්, ඔබ කුමන දින වන කොපමණ වේලාවක් වැඩ කරන්නේද යන්න හා ඔබට ලැබෙන කෙටි පණිවුඩ හා ඊමේල් පණිවුඩ ආදිය ගැන හැකි පමණ වාර්තා පවත්වා ගන්න. Fair Work ඔම්බුඩ්ස්මන් හි ඔබට භාවිත කළ හැකි ‘Record my Hours’ යෙදවුම https://www.fairwork.gov.au/tools-and-resources/record-my-hours-app තිබේ. සෑම මූල්‍ය වර්ෂයක් අවසානයේ දීම ඔබ විසින් ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය (Australian Tax Office) වෙත බදු ආපසු ලබා ගැනීමේ අයදුම් පතක් ඉදිරිපත් කළ යුතුය.

ඔබ‌ට ගෙවන ගණන

ඔබට වයස අවුරුදු 18ට වඩා වැඩි නම්, කිසිම අවස්ථාවක ඔබට ඔස්ට්‍රේලියාවේ අවම වැටුපට වඩා අඩු ගණනක් ගෙවීම සිදු කළ නොහැක.

ඔබට අවම වැටුපට වඩා වැඩිපුර ගෙවීම සිදු කළ හැකිය. සමහර සේවා ස්ථානවල ඔවුන් කටයුතු කරන්නේ නූතන ප්රදානයක් හෝ ව්යවසාය එකඟතාවක් යටතේ ද යන්න පදනම් කර ගනිමින් ඉහළ හෝ වෙනස් වැටුප් අනුපාතික පවත්වා ගත හැකිය.

ඔබේ වැටුප් අනුපාතිකය ‌කෙසේ වේ දැයි දැන ගැනීමට Fair Work ඔම්බුඩ්ස්මන් අමතන්න.

සුපර් ඇනුවේෂන් (සුපර්)

ඔබේ විශ්‍රාමය සඳහා සේවා යෝජකයන් විසින් ඔබේ වැටුපෙන් 10%ක් සුපර් ඇනුවේෂන් අරමුදලකට බැර කළ යුතුය. ඔබේ සුපර් ගෙවීම් ඔබේ වැටුපේ කොටසක් ලෙස පැවතීම හෝ වැටුපට අමතරව ගෙවීම සිදු විය හැක – මෙය සාමන්‍යයෙන් ඔබේ ගිවිසුමේ විස්තර කර දක්වා ඇත. ඔබේ සේවා යෝජකයා විසින් සිදුකරන සුපර් දායකත්වයන් ගැන වැටුප් පතෙහි දක්වා තිබිය යුතුය.

සුපර් දායකත්වයන් සම්බන්ධයෙන් ව්‍යතිරේකයන් පැවතිය හැකිය – උදාහරණයක්  ලෙස සමහර ස්වාධීන කොන්ත්‍රාත්කරුවන්ට හෝ වයසින් අඩු සේවා නියුක්තිකයන්ට සුපර් නොලැබීම සිදු විය හැකිය. මෙම 10% ගණනය කරන විට එයට අතිකාල දීමනා හා සෙසු දීමනා ද ඇතුළත් නොවීම සිදු විය හැකිය.

ඔබේ සේවා යෝජකයා සුපර් ‌නොගෙවන්නේ නම් හෝ ප්‍රමාණවත් තරම් නොගෙවන්නේ නම්, ඔබට ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය ඇමතිය හැකිය.

ඔබ වැඩ කරන අතරතුර

විවේක ගැනීමේ හැකියාව ඇත

ස්ථිර සේවකයන්ට විවිධ ස්වභාවයන් හි වැටුප් ගෙවන නිවාඩු ලබා ගත හැකි අතර පහත දැක්වෙන දේ එයට ඇතුළත් වේ:

  • වාර්ෂික නිවාඩු
  • පෞද්ගලික හෝ රැකවරණ සැපයීම් නිවාඩු
  • සානුකම්පිත නිවාඩු

අනියම් සේවකයන්ට වැටුප් රහිත සානුකම්පිත නිවාඩු ලබා ගැනීමේ හැකියාව වේ.

නිවාඩු ලබා ගැනීමට හා ඔබේ හිමිකම් අවබෝධ කර ගැනීමට, ඔබේ ගිවිසුම , ප්‍රදානය හෝ ව්‍යවසාය එකඟතාව මෙන් ම සේවා යෝජකයාගේ නිවාඩු ප්‍රතිපත්තිය ගැන සොයා බලන්න.

පවුල් හා ගෘහස්ථ හිංසන නිවාඩු, ප්‍රජා සේවා නිවාඩු හා දීර්ඝ සේවා නිවාඩු ඇතුළු වෙනත් ආකාරයන්හි නිවාඩු ද පවතියි.

අසාධාරණයට ලක් කිරීම

පහත දැක්වෙන හේතූන් නිසා සේවා ස්ථානයේ දී ඔබට අයහපත් ලෙස සැලකීම සම්බන්ධයෙන් ඔබව ආරක්ෂා කිරීමට ඔස්ට්‍රේලියානු නීති පවතියි:

  • ජාතිය හෝ ජාතිකත්වය
  • වයස
  • ස්ත්‍රී පුරුෂ භාවය
  • ලිංගික නැමියාව
  • ආගමික හෝ දේශපාලනික විශ්වාස
  • මාපිය හා රැකවණ සැපයීමේ තත්ත්වයන්
  • ගර්භනීභාවය හෝ මව් කිරි දීම

අසාධාරණ ලෙස සැලකීම ඍජුව සිදු විය හැකිය – උදාහරණ ලෙස සේවා යෝජකයා ඔබේ උච්ඡාරණ විධියට අකමැති නිසා ඔබ අයදුම් කළ රැකියාවට තෝරා නොගත් බව දැන්වීම දැක්විය හැකිය.

අසාධාරණ ලෙස සැලකීම වක්රාකාරයෙන් ද සිදු විය හැකිය – උදාහරණයක් ලෙස රැකවරණ වගකීම් ඇති කෙනෙකුට කිරීමට අපහසු නම්‍යශීලී නොවන වේලාවන් සේවය කරන සේ සේවා යෝජකයා විසින් බල කර සිටින අවස්ථා දැක්විය හැකිය.

ඔබ අසාධාරණයට ලක් වී සිටින්නේ නම්, ඔබේ ප්‍රාන්තයේ අසාධාරණයට එරෙහි අධිකාරිය හරහා හෝ ඔස්ට්‍රේලියානු මානව හිමිකම් කොමිසම (Australian Human Rights Commission) හරහා ඔබට සහන සඳහා අයදුමක් ඉදිරිපත් කළ හැකිය.

ඔබ අසාධාරණයට ලක් වී සිටින්නේ නම්  අසාධාරණය නිසා ඔබේ රැකියාව අහිමි වූයේ නම් ඔබට දින 21ක් ඇතුළත අසාධාරණව සේවයෙන් පහ කිරීමේ අයදුමක් හෝ  සාමාන් ආරක්ෂණ මතභේදනැවැත්වීමේ අයදුමක් Fair Work කොමිසමෙන් ඉල්ලා සිටිය හැකිය.   ඔබ එයින් සාර්ථක වූයේ නම්, එක්කෝ ඔබට රැකියාව ආපසු ලැබීම හෝ ඔබට සිදු වූ පාඩුව වෙනුවෙන් ගෙවීම් කිරීම සිදු වේ.

හිරිහැර කිරීම

සේවා ස්ථානයේ දී හිරිහැර කිරීම කිසිසේත් ම පිළිගත නොහැක. ඔබ සේවා ස්ථානයේ දී යමෙකුගේ වචන හෝ කටයුතු නිසා හිරිහැරයට පත් වූ එමගින් ඔබේ සෞඛ්‍ය හා ආරක්ෂාවට අවදානමක් ඇති වී ඇත්නම් ඔබට පහත දැක්වෙන දේ කළ හැකිය:

  • හිරිහැර කිරීම ගැන ඔබේ කළමනාකරුට හෝ සුදුසු පුද්ගලයාට වාර්තා කිරීම
  • Fair Work කොමිසම හරහා හිරිහැර කිරීම නැවැත්වීම සඳහා නියෝගයක් අයදුම් කිරීම
  • පොලිසියට පැමිණිලි කිරීම
  • WorkSafe වෙත පැමිණිලි කිරීම
  • සේවක හානි පූර්ණ හිමිකමක් අයදුම් කිරීම
  • අසාධාරණයට ලක් කිරීම සම්බන්ධ අයදුමක් ඉදිරිපත් කිරීම (ඉහත බලන්න)

කුමක් කළ යුතුද යන්න තීරණය කිරීමට පෙර නීති උපදෙස් ලබා ගැනීම වැදගත් වේ.

සේවය අවසන් කිරීම

රැකියාවකින් ඉවත්ව යෑම

බොහෝ රැකියාවල දැනුම් දිය යුතු අවම කාල සීමාවක් ඇති අතර සාමාන්‍යයෙන් මෙය සති දෙකේ සිට හතර දක්වා වේ. සාමාන්‍යයෙන් මෙය ඔබගේ ගිවිසුමේ නූතන ප්රදානයේ හෝ ව්යවසායක එකඟතාවේ සඳහන් වනු ඇත.

ඔබට රැකියාව හැර යාමට අවශ්‍ය නම්, ‌සේවා‌ යෝජකයාට අදාළ අවම දැනුම් දීමේ කාලය ලබා දීමට තහවුරු කර ගන්න නැත්නම්, ගිවිසුම උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ඔබට එරෙහිව නීති මගින් කටයුතු කිරීමට ඔවුන්ට හැකිය.

ස්ථිර සේවකයෙකු වශයෙන් ඔබ රැකියාවෙන් ඉවත් වන විට ඔබේ අවසාන වැටුප් පතේ, ඔබ භාවිත කර නොමැති වාර්ෂික නිවාඩු ආදී හිමිකම් සඳහා ගෙවීම් සිදු කර තිබිය යුතුය.

අසාධාරණ ලෙස සේවයෙන් පහ කිරීම

අකාරුණික, අසාධාරණ හෝ පිළිගත නොහැකි ආකාරයකින් ඔබව සේවයෙන් පහ කිරීම සිදු නොවිය යුතුය. මෙයට පහත දැක්වෙන දේ ඇතුළත් විය හැකිය:

  • සේවයෙන් පහ කිරීම සඳහා හේතුවක් නොමැති වීම
  • සේවයෙන් පහ කිරීමට පෙර ඔබේ වැඩකටයුුුතු වැඩි දියුණු කර ගැනීම සඳහා වන අනතුරු ඇඟවීමක් ලබා දී නොතිබීම
  • ඔබේ සේවා යෝජකයා විසින් සේවා ස්ථානයේ ඇති නීති අනුගමනය කර නොතිබීම

ඔබට මෙය සිදු වුව හොත්, රැකියාව අහිමි වී දින 21ක් ඇතුළත Fair Work කොමිසම මගින් අසාධාරණ ලෙස සේවයෙන් පහකිරීමේ අයදුමක්  ඉදිරිපත් කිරීම සිදු කළ හැකිය. ඔබ එයින් සාර්ථක වූයේ නම්, එක්කෝ ඔබට රැකියාව ආපසු ලැබීම හෝ ඔබට සිදු වූ පාඩුව වෙනුවෙන් ගෙවීම් කිරීම සිදු වේ.

අනවශ්‍යකත්වය

සමහර විට ව්‍යාපාර වෙනස් කිරීමක් නිසා රැකියා අනවශ්යකත්වයට පත් වීම සිදු විය හැකිය.  අනවශ්‍යකත්වය යනුවෙන් අදහස් වනුයේ ඔබේ රැකියාව (ඔබේ තනතුර, ඔබේ වැටුප, ඔබ වැඩ කරන පැය ගණන, වැඩ කරන ස්ථානය හා ඔබේ රාජකාරී) තව දුරටත් නොපවතින බවයි.

ඔබේ රැකියාව අනවශ්‍යකත්වයට පත් වූ බව ඔබට පැවසුවත් තාම එම තනතුර ඇත්නම් හෝ ඒ සමාගමේ ම වෙනත් රැකියාවක් සඳහා ඔබව අනුයුක්ත කළ හොත්, නැත්නම් ඔබේ සේවායෝජකයා අවශ්‍ය උපදේශන ක්‍රියාවලිය අනුගමනය කර නැත්නම් ඔබට අසාධාරණ ලෙස සේවයෙන් පහකිරීම පිළිබඳ අයදුමක් ඉදිරිපත් කළ හැකිය.

ස්ථිර සේවකයෙකු සේ ඔබ අනවශ්‍යකත්වයට පත් වුවහොත්, ඔබට අනවශ්‍යකත්ව වැටුප් ලබා ගත හැකි වනු ඇත. මෙය සාමාන්‍යයෙන් වසරක කාලයක් රැකියාව කිරීමෙන් අනතුරුව සති හතරක වැටුප ‌වන අතර ඔබ කෙතරම් කාලයක් රැකියාව කර ඇත්ද යන්න හා ඔබේ ගිවිසුමේ, ප්‍රදානයේ හෝ ව්‍යවසායික එකඟතාවේ සඳහන් වන්නේ මොනවාද යන්න මත පදනම්ව පවතී.

ප්‍රයෝජනවත් සම්බන්ධතා

මෙම අත්පත්‍රිකාවේ ඔබට උදව් ලැබිය හැකි ආයතන ගණනාවක් අප විසින් දක්වා ඇත. එම ආයතන සම්බන්ධ කර ගත හැකි ආකාරයන් පහත දැක්වේ.

JobWatch හි ‌ගාස්තු රහිත, රහසිගත ‌දුරකථන තොරතුරු සේවාව
දුරකථන: (03) 9662 1933 (නාගරික මෙල්බන්), 1800 331 617 (ප්‍රාදේශීය Vic, Qld, Tas)
වෙබ් අඩවිය: jobwatch.org.au

Fair Work ඔම්බුඩ්ස්මන්වරයා
දුරකථන: 13 13 94
වෙබ් අඩවිය: fairwork.gov.au

Fair Work කොමිසම
දුරකථන: 1300 799 675
වෙබ් අඩවිය: fwc.gov.au

ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය
දුරකථන: 13 28 61
වෙබ් අඩවිය: ato.gov.au

ඔස්ට්‍රේලියානු මානව හිමිකම් කොමිසම
දුරකථන: 1300 656 419
වෙබ් අඩවිය: humanrights.gov.au

බාගත

Sign up for our newsletter

Copyright © 2024 All Rights Reserved

JobWatch acknowledges and is grateful for the financial and other support it has received from our supporters.
JobWatch acknowledges the Aboriginal and Torres Strait Islander peoples of this nation. We acknowledge the traditional custodians of the lands on which we are located and where we conduct our business. We pay our respects to ancestors, and Elders, past, present and emerging.